Sinharaja Rainforest - History and Current Issues

බ්‍රිතාන්‍ය අධිරාජය පාලන සමය වන තෙක්ම පහතරට තෙත් කලාපයේ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පැවති සිංහරාජ මූකලානය තුල වැසි වනාන්තරයට හැඩ ගැසුනු සුවිශේෂ ලක්ෂණ පෙන්වන අලි ඇතුන් සිය ගණනක් සිටි බවටද එම කාල පර්ච්ඡේද තුල ලියැවුනු පොතපතේ සඳහන් වී ඇත. නමුත් අධිරාජ්‍ය පාලකයන් විසින් හඳුන්වා දුන් තේ වගාව සීග්‍රයෙන් සබරගමුව හා දකුණු පලාත් තුල ව්‍යාප්ත වීමත් සමග හෙක්ටෙයාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් තුල පැතිර තිබූ සිංහරාජ මූකලානය කැබලි වලට වෙන්වී අවසානයේ 1988 වර්ශයේදී හෙක්ටෙයාර 11,427 ක් සිංහරාජ ලෝක උරුම වනාන්තරය ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් ප්‍රකාශ කරන ලදි. ඉතිරිව තිබු වැසි වනාන්තර ඉඩම් දෙල්ගොඩ, දෙල්වල, දෙල්ලව, රූණකන්ද, මොරපිටිය, වලංකන්ද, කුඩුමීරිය, වරතැල්ගොඩ, දියදාව, හිමිදිරි පෙදෙස (morning side) ලෙස වෙනත් රක්ෂිත හා යෝජිත රක්ෂිත ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ කරන ලදි.



සිංහරාජ වැසිවනාන්තර සංකීර්ණයට අයත් සියලු වැසිවනාන්තර හා සසඳා බලන විට සිංහරාජ ලෝක උරුමය ලෙස නම් කර ඇත්තේ 50% කටත් අඩු වනාන්තර ප්‍රමාණයක් වන අතර ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රූණකන්ද සහ හිමිදිරි පෙදෙස වැනි වනාන්තර රැක ගැනීමට නීති තවමත් සම්පාදනය කර නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වැසි වනාන්තර අලි ඇතුන් සිය ගණනක්ගේ නිජ භූමියේ ඉතිරිව ඇත්තේ වැසි වනාන්තර අලි දෙදෙනකු පමණි.

මීට අමතරව 2004 වසරේ කැබිනට් පත්‍රිකාවක් මගින් සිංහරාජයට යාබදව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් හෙක්ටෙයාර 2,500 කට අධික වනාන්තර ප්‍රමාණයක් වහා සිංහරාජයට පවරා ගන්නා මෙන් අනුමැතිය දුන් අතර වසර 15ක් ගෙවී ගොස් ඇති නමුත් තවමත් මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට එකතු කර ගැසට් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇත. එවන් තත්වයක් තුල රක්ෂිතයක් ලෙස නම් කරන ලද දෙල්ගොඩ වනාන්තරය තුල ඇති ප්‍රාථමික වනාන්තර (primary forest) හෙක්ටෙයාර දහසකට අධික ප්‍රමාණයක් රක්ෂිතයෙන් ඉවත් කර විවිධ පුද්ගලයින්ට දේශපාලනික වාසි තකා ලබාදී ඇති අතර වසර මිලියන ගණනක් පුරා මිනිස් ක්‍රියාකාරකම් වලින් තොරව වැඩුනු මෙම වැසි වනාන්තර වර්ථමානයේදී ඉතා සීග්‍රයෙන් තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා එලි පෙහෙලි කරමින් සිටී.